පණ ඇති දෙවිවරු -රංජිත් පීරිස් – 05 කොටස

Pana_athi_dewiwaruසංස්කාරක සටහන

‘පණ ඇති දෙව්වැරු’ පුරා දශකයකට වැඩි කාලයක් ප්‍රකාශකයෙක් නොමැතිව එහෙ මෙහෙ සැරි සැරූ කෘතියකි. එම කෘතිය ප්‍රකාශයට පත්  කිරීමේ වගකීම භාරගෙන සිටි අප මේ වන විට රටින් බැහැරව ජීවත් වේ. මෙම කෘතිය රාජ්‍ය මාධ්‍යයත් විකල්ප මාධ්‍යයත් වාරණයට ලක් කළ ආනෝදලානාත්මක කෘතියකි. රංජිත් පීරිස් , රුවන්, පීරා යන නම් වලින් හඳුන්වන කතුවරයා තමන්ගේ ජීවමාන අත් දැකීම් ලේඛන ගත කොට ඇත. පතුල අපි එය කොටස් වශයෙන් පළ කිරීමට තීරණය කළෙමු.

ගරු විනිසුරුතුමනි,

මගේ ජීවිතයේ දුක්බරම ව්‍යාකූලම අභ්‍යන්තර සංවාදය යෙදුණේ, මෙම පළායාමේ දීය.   ‘විප්ලවය’ මට හොදටෝම ඇති වී තිබිණ.
එහෙත් මට ‘විප්ලවයෙන්’ තොර පැවැත්මක් නැත. මම මුලූමනින් අසරණය. සංවිධානාත්මක සමූහයකගේ රැකවරණයකින් තොරව මට පැවතිය නොහැක. සාමූහික ක‍්‍රියාවන්වල පවතින ව්‍යසනකාරී ප‍්‍රතිඵල, මා දැඩි ලෙස තළා පෙළා දමා තිබිණි. මෙම සමූහයෙන් පළා ගියහොත්, සමූහය කළ ක‍්‍රියාවන් සඳහා මා පෞද්ගලිකව වගකිව යුතුවේ. සමූහයක් සමඟ එක්ව ක‍්‍රියා කරන මොහොතේ සිටි මම, මේ අවස්ථාවේ දී නොසිටියෙමි. තනි හුදකලා ජීවිතයක් ගතකරන මම, සමූහයක් සමඟ සිටි මම විසින් කරනු ලැබූ දේ වලට වන්දි ගෙවීමට සූදානම් වූයේ නැත.

මට අවශ්‍ය නිදහසේ පියාසර කොට නැවත පාසැල් ජීවිතයට ඇතුලූ වීමටය. ඒ අසිරිමත් සොදුරු අතීතය තුළ මොහොතක් කිමිදී සියල්ල අමතක කිරීමටය. එහෙත් කිසිවක් අමතක කළ නොහැක. සොඳුරු අතීත ක‍්‍රියාකාරකම්, යක්ෂයෙකු මෙන් මා වෙත හඹා එයි. මම මගේ අතීතයට බෙහෙවින් බියපත් වීමි. අතීතය මකාදමා නව ජීවිතයක් ආරම්භ කිරීම මගේ අපේක්ෂාව වූයේය. එවිට මට දක්ෂ කීකරු ආදර්ශමත් ශිෂ්‍යයෙකු ලෙස ප‍්‍රතිජීවනය ලැබිය හැකිය.
එහෙත් එය යථාර්ථයක් විය හැකිද? මගේ සාන්ත මේරි විදුහල් මෑණියන් විසින් මා පෙර පරිදිම පිළිගනීවිද? මා විසින් පැහැර ගත් ගම්මුන්ගේ තුවක්කු ඔවුන්ගේ ප‍්‍රතිචාර කෙතරම් බියකරු විය හැකිද? මුලූ ජ. වි. පෙ. සංහතියෙන්ම පලි ගැනීමට සපථ කොට සිටින, ඝාතනයට ලක් වූ පබිලිස් ගේ ඥාතීන් වැනිවුන් කෙසේ පිළිගනීවිද?

පරාජිත විප්ලවවාදියෙකු වීම සමාජයේ සම්මත  ‘ප‍්‍රමිතිය’ බාල කරගැනීමකි. මෙතෙක් තමා නියෝජනය කළ සම්මත සමාජය වෙත පෙර පරිදි නැවත ප‍්‍රවිෂ්ඨ විය නොහැක. මට සෑම විටම පෙනී සිටීමට සිදුවන්නේ බාල ‘ප‍්‍රමිතියක්’ තුළය. සිර ගෙදරින් පළා ආවෙකු මෙන් කුහුලින් ජීවත් වීමය. මනුතාපයේ එන ජනවර්ජනට මිනිසුන් දැක්වූ ප‍්‍රතිචාර මට සිහිපත් වේ.

අනෙක් අතින් මාගේ විප්ලවීය සමාජය තුළ මා පිළිබඳ ගොඩනැඟෙන ආකල්පය, එය කොතරම් නීරස දෙයක් විය හැකිද?
සැබෑ ‘විප්ලවවාදීන්’ හඳුනාගත හැක්කේ ජීවමාන ‘විප්ලවයෙනි’. ‘විප්ලවයේදී’ ඔවුහු අවදි වෙති. ක‍්‍රියා කරති. ‘විප්ලවය’ යනු ‘විප්ලවවාදීන්ගේ’ උරගලයි. ඔවුන්ගේ ක‍්‍රියාකාරකම් සඳහා ලැබෙන ඉතාමත් සාර්ථක ප‍්‍රතිචාරයයි. තමන්ගේ පංති හැඟීම, සටන්කාමීත්වය, ජීවගුණය අත්හදා බැලීමට, ‘විප්ලවය’ තරම් වෙනත් දෙයක් තිබිය හැකිද?

මේ සියලූ දේ ඉතා අඩු මුදලකට විකුණා දමා ‘විප්ලවයට’ ද්‍රෝහි විය හැකිද? විප්ලවවාදියෙකු ‘විප්ලවයෙන්’ පළායාම සියදිවි තොර කරගැනීමක් බඳුය. විප්ලවවාදියෙකු ලෙස පෙනී සිටි අවදියේ ලැබුණු උණුසුම් ප‍්‍රතිචාරය, එයින් බැහැර වූ විට ලැබෙන ප‍්‍රතිචාරයට සමාන විය හැකිද?

මම බෝගල පතලින් පැහැරගත් රබර් බූට් යුගල ගළවා, එකට ගැටගසා කරේ දා ගතිමි. බූට් සපත්තුවල රැකවරණයෙන් මිදුණු මගේ පරණ සුව නොවූ තුවාල, කූඩැල්ලෝ පිරිසිදු කරමින් සිටියේය. රබර් සමඟ එකම හැළියක තැම්බුණු මගේ දෙකකුල්, වාතයට දැඩි දුගඳක් එක් කළේය. මම නාසය වසාගෙන, එක අතකින් කූඩැල්ලන් බලහත්කාරයෙන් ඉවතට ඇද දැමුවෙමි.

මුං හරිම ප‍්‍රතිගාමි කූඩැල්ලෝ, විප්ලවවාදීන්ගේ ලේ උරා බොන්න පුලූවන්ද ප‍්‍රතිගාමි නොවන කූඩැල්ලෙකුට, මම මටම එසේ කියා ගතිමි.

ගරු විනිසුරුතුමනි,
අපි ගමනාන්තය කරා ඉක්මනින් ළඟා වීමට අදහස් කළෙමු. මෙකළ සංචාරය කිරීම බෙහෙවින් අනතුරුදායකය. මේ වන විට ද අප යන ඉසව්ව ගැන සැක කර ඇත. ඔවුන්ගේ මුලූ ශක්තිය යොදවා අප සේනාංක දෙසට පහර දෙන්නේ එබැවිනි.අපි දෙසියයකට අධික භට පිරිසක් මේ ගමනාන්තය අපේක්ෂාවෙන් සිටියෙමු. එහෙත් නොකඩවා සිදුවන සතුරු ප‍්‍රහාරයන් නිසා, නිරන්තරයෙන් අප කණ්ඩායම දුර්වල විය.

අප රංචුවක් මෙන් එකම ස්ථානයක රැදී සිටින විට, අප මතට පොකුරු බෝම්බයක් වැටුණු කළෙක මෙන්, සෑම සතුරු ප‍්‍රහාරයකින්ම සේනාංකයෙන් යම් පිරිසක් සදහටම අහිමි වී ගියහ.

අපි මෙතැන් පටන් දිවා කල ද ගමන් ඇරඹුවෙමු. මිනිස් වාසයකින් තොර මෙම මහ වනය අපගේ ඉරණම කෙබඳු අයුරකින් විසඳාවි දැයි යන්න ගැන, කිසිදු අවබොධයක් කිසිවෙකුට තිබුණේ නැත.

සතුරා සිය අනුමාන ඉලක්කයන් වෙත, නොකඩවා මෝටාර් බෝම්බ පතිත කළේය. එහෙත් දැවැන්ත වනස්පතියන්ට එමගින් වූ හානිය අපට සිදු වූයේ නැත.
හබ්බෙලිකන්දෙන් ඉවත් වී දිවා කල ගමන් අරඹන අප හට, කඳු දෙකක් අතරින් පහලට ගලා හැලෙන කුඩා දිය ඇල්ලක් හමුවිය. දිවා ආහාරය සඳහා මෙය කදිම ස්ථානයක් විය. පහලට ගලා ගිය දිය කඳුර ආශ‍්‍රිත බිම් කඩ තරමක විශාල හුදකලා ගස් වලින් වැසී තිබුණු අතර, ගස්කොළන් මැද එළිමහනක් දක්නට විය. දිය කඳුරේ පහල බිම්කඬේ ගල් තලාවක් මත වාඩි වූ මම,  කෑදර කමින් කෙයාර් විස්කෝතුවක් සාක්කුවෙන් පිටතට ගත්තෙමි. මෙය ඩැහැගැනීමට කිසිවෙකු සිටීදැයි යන්න මම සෝදිසි කළේ, එකවිට මෙය ගිල දැමීමට ඇති මැළිකම නිසා විය හැක. අලව්වේ ප‍්‍රාථමික විදුහලක ගබඩා කාමරයකින් පැහැරගත් අවසාන විස්කෝතු සලාකය මෙය වූයේය. මෙතැන් පටන් ආහාර ඇතුලූ සියල ගැටලූ වලට විසඳුම තිබුණේ හැකි ඉක්මනින් ගමනාන්තය කරා යාමය.
මම පොඩි විස්කෝතු කෑල්ලක් සපා, කෙළ සමඟ මිශ‍්‍රකොට අපූරු තලපයක් සකස් කළෙමි.

ඉන් අනතුරුව දිය කඳුරට නැමී වතුර බීමට සැරසුණා පමණි. ඉතා පහතට නැමුණු හෙල්මට් දෙකක් අප දෙසට වේගයෙන් ඇදෙන අයුරු මගේ නෙත ගැටුණි. එම දසුන දුටු සැණින් සතුරා අප ලූහුබඳින බව මා පැවසුවේ නිරායාසයෙනි. මම එසේ හඬ තලමින් ගල් අතර මුවා වෙමින් නිශ්චිත තීරණයකට බැස නොතිබූ දිසාවකට පළා ගියෙමි. සතුරා මගේ කෑ ගැසීමත් සමඟ ඔවුන්ගේ ස්වයංක‍්‍රීය ගිනි අවි පණ ගැන්නුවෝය. මේ සියලූ සිදුවීම් ඇසිල්ලක කාලයක් ගතවීමට මත්තෙන් නිමාවිය.

අඳුර වැටෙන තුරුම අප ඒ අසල සැඟවී සිටියේ, දිවා කල බිඳී විසිරුණ ‘දම්වැල’ යළි පිරිද්දීම පහසුවීම සඳහාය.

අප දෑත කන්දකට පළා ගිය බවට අනුමාන කළ සතුරා, මෝටාර් වෙඩි දස දහස් ගණනක් එම කන්ද මත පතිත කළේය.

මෝටාර් වෙඩිල්ලක් මුදා හරින අවස්ථාවේ දී තරමක තෙරපුමක ශබ්දයක් පිටවේ. අපට ළඟින් ඇසුණ් වෙඩි පුපුරණ ශබ්දය නොව, වෙඩිල්ල පිටවීමේ දී ඇතිවන තෙරපීමේ ශබ්දයයි.

කෙසේ වුවද මෙම සිදුවීම සතුරා අපේක්ෂා නොකළ අවස්ථාවක දී ඇති වූ අනපේක්ෂිත හමුවීමක් බව සැක නැත. අනපේක්ෂිත සිදුවීම්වලට මුහණ දීමද, ඔවුන්ගේ පුහුණු කාර්යයේ එක් වැදගත් සිදුවීමකි.

අපි ඇඳිරි වැටෙන තුරුම එම ස්ථානවල සැඟවී සිට, ආලෝකය හා අඳුර මිශ‍්‍ර ගොම්මන් වෙලාවේ තුවක්කු බටය නලාවක් කරගනිමින්, මහත් හඬින් නාද කොට සැඟවී සිටි සහෝදරවරුන්ට ආමන්ත‍්‍රණය කළෙමු.

මුලූමනින්ම අසරණ වූ පිරිසක්, මුලූමනින්ම ආවේශගත පිරිසක් සමඟ යළි එක්වූවෝය. මෙසේ යන අතරවාරයේ දී අපි බැද්දෙන් වට වූ එම දර්ශනීය ගම දුටුවෙමු. අපි වනගත කඳු වළල්ලෙන් තරමක් මෑත් වෙමින්, මෙම ගම්පියසට ආසන්න වූයෙමු. එවිට හෙරළි ගසක කඳේ පහළට එල්ලා වැටුණු එකම හෙරළි ගෙඩිය අප නෙත ගැටුණි. ජීවිතයේ ප‍්‍රථම වරට අප කොස් කටු කෑවේ එදිනය. අපේ මේ ක‍්‍රියාව හරකෙකු දුටුවේ නම්, මවිතයෙන් යුතුව ඇස් දල්වා මුව අයා බලා සිිටිනු නොඅනුමානය.

කොස් කටුවලට සාගින්න ඇවිස්සීමට හැකි වුණි ද, එසේත් නැත්නම් අසල පිහිටි ගෘහයට ඒ හපන්කම කළ හැකි වුණි දැයි නිශ්චිතව කීමට නොහැකිය.
අපි කිහිප දෙනෙකු එම නිවසේ ඉදිරිපසට ගියෙමු. ඉදිරිපස දොර වසා තිබූ නමුත් මඳ වේලාවකින් එය විවෘත විය. දොර විවෘත කිරීමෙන් තමන් අතින් සිදු වූයේ බරපතල අත් වැරැද්දක් යයි නිවැසයන් හට හිතුණ බව මම විශ්වාස කළෙමි. නිවසේ ඉදිරිපස දොර අසල මැදිවියේ ගැහැණියක් පෙනී සිටි අතර, ඇයට පිටුපසින් රුමත් යුවතියන් දෙදෙනෙකු අප දෙස කිසියම් තැති ගැනීමකින් බලා සිටියෝය.

මම ප‍්‍රමාදයෙන් තොරව අපගේ දැවෙන අවශ්‍යතාවය හෙළි කළෙමි. මගේ හෙළිදරව්ව ඔවුන්ට යම් සහනයක් වූ බව, පිටකළ සුසුම් වලින් ඉඟි කෙරුණි.
‘ඕගොල්ලන්ට කන්ඩ දුන්නොත් අපට ආමි එක ඇවිල්ල ත‍්‍රස්තවාදීන්ට තොපි කන්න දුන්න කියල වෙඩි තියයි. අපිට මොකක් හරි ගින්නක් පත්තු කරන්න බලාගෙන ඉන්නේ……………”

මැදිවියේ කතගේ වැකිය අවසන් වීමට මත්තෙන් එක් යුවතියක් ඇයට බාධා කළාය. ඉන්පසු ඇය අපට කෑම දීමට එකඟතාවය පළ කළාය.
අපට සිදුවූයේ බරපතල වැරදීමකි. ඔවුන්ගේ ජීවිත ආරක්ෂාව නොතකා අප ප‍්‍රසිද්ධියේම අපගේ අවශ්‍යතාවය ප්‍රකාශ කිරීම, කොතරම් අමනෝඥ ස්වාර්ථකාමයක්ද? අපි දැඩි ලෙස පසුතැවිලි වෙමින්, නිවසේ පෑළ දොර වෙත ගියෙමු.

අපට මේ සුලූ මොහොත තුළ මේ නිවැසියන් ගැන ඇතිවූයේ පුදුම එළවන සුලූ කෘතවේදී හැඟීමකි.
තරමක වේලාවක් ගතවී ගියේය. දැඩි සාගින්නට වඩා බලාපොරොත්තු සහගතභාවය කාලයට ශාප කළේය. එම නිහඬ කාලය තුළ මගේ මනසේ මැවුණේ, කාර්ය බහුල යුවතියන්ගේ දෑත් මවගේ උපදෙස් මත ක‍්‍රියාකාරි වන ආකාරයය. විවිධ වෑංජන සහිත මිරිසවැටි චෛත්‍යය බඳු ‘බත් කඳු’ පිඟගන්වල අසුරා තිබෙනු මම දුටුවෙමි.

කාලය වේගයෙන් ඉක්ම යන විට, නොඉවසිලිමත් මගේ දෑත් පෑළ දොර වෙත කුඩා සංඥාවක් දී නිහඬ විය. කාලය අවශ්‍ය පමණ ගෙවි ගියද, කිසිම ප‍්‍රතිචාරයක් නොලදින් පෙරට වඩා තරමක ශබ්දයක් ඇතිවන ලෙස යළිත් එම ක‍්‍රියාවම කළෙමි. එහෙත් ගෘහ අභ්‍යන්තරය නිහඬය. අපි නැවතත් කල් නොයවා පිටුපස දොරට තඩි බෑවෙමු. එයට කිසිදු ප‍්‍රතිචාරයක් නොලදින්, අපි සියලූ දෙනා ඔවුනොවුන් දෙස විමතිය පළ වූ දෑස් වලින් බලා සිටියෙමු.
ඉන් අනතුරව මම ඉදිරිපසට ගොස් විපරම් කළෙමි. ඔවුන් සැවොම ඉදිරිපස දොරට අගුලූ දමා පළාගොස් තිබිණි.

ගරු විනිසුරුතුමනි,
විප්ලවයට දින විසිපහ සම්පූර්ණ වී තිබිණි. එදිනට පහන්වන වූයේ අප එකම කන්දක් වටේ අසීරු ගමනක යෙදී තිබිණි. මාර්ග සිතියම්කරු සහ මාලිමාව පරීක්ෂා කරන්නාගේ නොසැලකිලිමත්කම ගැන කොතරම් නිර්දය වචන පාවිච්චි කළ ද, මෙවැනි වැරදීම්වල කිසියම් අපූරුවක් ගැබ් වී තිබිණි. ඒ අවස්ථාවේ දී හැර, අන් සියලූ අවස්ථාවල එවැනි වැරදි පුනරුචිචාරණය කළේ සතුටකිනි.

පැය කිහිපයක අත් වැරදීමක් මුලූ මහත් විප්ලවයම තීරණය කරන සුලූ ක‍්‍රියාවක් විය හැක. පසුදින රැය පහන් වූ විට අප සිටියේ පෙරදින සිටි ස්ථානයට මඳක් ඔබ්බෙනි. එම පරිසරයම වෙනත් දිසා කෝණයකින් නරඹා ගිමන් නිව්වෙමු.

තවදුරටත් අපට බරපොදි ඔසවාගෙන යාමේ ශක්තියක් නොතිබිණි. මෙතෙක් අප අත රඳුණු බෝම්බ මලූ අතහැර යාමට තීරණය කළෙමු. මෙය කිව නොහැකි තරම් සතුටුදායක තීරණයකි. අප පසු බැසීමට පෙර ඇතැම් බෝම්බ රැගෙන ගියේ, බර යමක් රැගෙන යාමේ දී ගම්මුන් උපයෝගි කරගන්නා උපායකිනි. අපි දෙදෙනෙකු දෙකොණින් ඔසවා ගත් දණ්ඩක් මැදින් බෝම්බය එල්ලාගෙන ගියෙමු. බෝම්බයේ පැද්දීම වැඩිවන විට, අපගේ ගුරුත්ව කේන්ද්‍රය අසමතුලිත වී දෙපසට වැනුණෝය.

මම මෙතෙක් රැගෙන ආ බෝම්බ මල්ල දෙස අවසන් වරට බැලූවෙමි. සියලූ බෝම්බ සුරක්ෂිතව තිබිණි. විප්ලවයේ ගෙවී ගිය දින විසිපහට මෙම එකම බෝම්බයක් හෝ මා පාවිච්චි කොට නොතිබිණි. මා ‘විප්ලවයේ ’  සන්නද්ධ ක‍්‍රියාවකට කළේ කලාතුරකින් වෙඩි තැබීම පමණකි. එයින් ‘විප්ලවයට’ කොතරම් වාසි ගෙන දුන්නේදැයි නොදනිමි.

බෝම්බ මල්ල රැගෙන ආ දුර සහ ගෙවුණ කාලය අනුව, එය ශරීරාංගයක් බඳු විය. එය ඉවතට විසි කළ ද, එහි මානසික බර ක්ෂණයෙන් මැකී ගියේ නැත . මෙතෙක් මගේ කරේ රැඳී තිබුණ බෝගල පතලෙන් පැහැරගත් රබර් බූට් සපත්තු කුට්ටමද ( මා එයට කොතරම් ආශා කළේ වුවද ) සිරුරෙන් ඉවතට විසි කළෙමි. එහි මානසික බර ද මට සැලකිය යුතු වෙලාවක් යනතුරු දැනිණි.

පසුගිය කළාපය

පණ ඇති දෙවිවරු 4 කොටස

FacebookTwitterGoogle+Share
You can leave a response, or trackback from your own site.

Leave a Reply

*
Powered by WordPress | Download Free WordPress Themes | Thanks to Themes Gallery, Premium Free WordPress Themes and Free Premium WordPress Themes